SDB බැංකුවේ නව සභාපති දිනිති රත්නායක


 

SDBබැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් අබේසේකර මහතා සිය ධුර කාලය අවසන් කිරීමෙන් පසුව පසුගිය අප්‍රේල් 29 වැනි දින සිට ක්‍රියාත්මක පරිදි SDB බැංකුවේ නව සභාපතිවරිය වශයෙන් දිනිති රත්නායක මෙනෙවිය පත් කර ඇත.

දිනිති රත්නායක මෙනෙවිය SDB බැංකුවේ නායකත්වය භාරගනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය වී ඇති පරිසරයකය. බැංකු ක්‍ෂේත්‍රයේ වසර 25 කට වඩා අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදිනියක වශයෙන් ඇය සතු පුළුල් දැනුම හා ප්‍රවීණත්වය මේ වගකීම සපුරාලීමෙහි ලා ඇයට සවියක් වනු ඇත. විශේෂයෙන්ම ණය, ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ, අවදානම් හා අනුකූලතා පිළිවෙත් වැනි විෂයන්හි ඇගේ ප්‍රවීණත්වය මෙහි සඳහන් කළ යුතුය. දිනිති රත්නායක මෙනෙවිය ශ්‍රී ලංකාවේ සිටිබෑන්ක් (Citibank N.A.) හි අධ්‍යක්‍ෂ හා මූල්‍ය ආයතන ප්‍රධානී වශයෙන් කටයුතු කළාය.

SDB බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන, ඉතා පුළුල් පරාසයකට අයත් වැදගත් වෘත්තිකයන් හා ව්‍යාපාර නායකයන් පිරිසකගෙන් සමන්විත වන අතර ඊට මහාචාර්ය සම්පත් අමරතුංග, ප්‍රභාෂ් සුබසිංහ, එස්. ලයනල් තිලකරත්න, චාමින්ද කුමාරසිරි, හිරාන් ප්‍රසන්න ප්‍රේමරත්න, අභයවික්‍රම බණ්ඩාර, ජේ.ඒ. ලලිත්, ජී. ජයසිංහ, තුශාන්ත විජේමාන්න, එස්.එච්. සරත් නන්දසිරි, කොන්රැඩ් ඩයස්, නවීන්ද්‍ර පෙරේරා සූරියාරච්චි යන මහත්වරු අයත් වෙති.

595