අක්කර දෙක හමාරක කුඹුර කිරිගවයන්ට දනට දෙයි


(කාංචන කුමාර ආරියදාස)

ගොවි පරපුරට පින් අනුමෝදන් කිරීම සඳහා කිරිවදින අක්කර දෙකහමාරක සාර්ථක වී වගාවක්  කිරි ගවයන්ට දන්දීමේ අපූරු පුවතක් ගලේවෙල දේවහුව කොස්ගගහින්න ප්‍රදේශයෙන් අද දින වාර්තා විය.

ගලේවෙල නගරයේ ව්‍යාපාරිකයෙක් වූ සනත් බණ්ඩාර මහතා ඇතුළු ගමේ ගොවි මහතුන් එක්ව ඒ මහතාගේ අක්කර දෙකහමාරක් වූ කුඹුරු වගාකොට ඇත්තේ කිරි එළ එළදෙනුන්ට දානය පිණිස වීම විශේෂත්වයකි.

ඒ අනුව උදෑසන මහා සංඝරත්නය එම ස්ථානයට වඩමවා මියගිය සමස්ත ගොවීන්ට කුඹුරු අස්වැද්දු අතීත මුතුන් මිත්තන්ට මාපියවරුන්ට අනුමෝදන් කරමින් ප්‍රදේශයේ සිටින කිරි දෙනුන් එම ස්ථානයට ගෙන්වා කුඹුර සත්ව දානයක් ලෙස ලබාදීමට පිරිස කටයුතු කළහ.

මුලින්ම භික්ෂූන් වහන්සේ කුඹුරට බැස පළමු අස්වැන්න නෙලා එම ස්ථානයේ රැගෙන විත් සිටි කිරි දෙනෙකුට කන්නට සැලැස්වීම සිදුකළහ.පසුව පිරිස් එම ස්ථානයට ගෙනැවිත් සිටි කිරි හරකුන්ට අක්කර දෙකහමාරක ඉතා සාර්ථක කුඹුර ආහාර සඳහා වෙන් කිරීම් සිදු කළහ.