අකුරැස්සේ වැසියෙක් ඔරුවෙන් අවසන් ගමන් යයි



(අජිත් ලංකාතිලක)

මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් ඇති අතර ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇත. මේ හේතුවෙන් අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ අවමංගල අවස්ථාවක දේහය භූමිදාන කිරීමට රැගෙන යාමට සිදුවූයේ ඔරුවක ආධාරයෙනි.

ඊයේ අකුරැස්ස පානදුගම, අගලකඩ, පෝරතොට යන ප්‍රදේශවලින් නිල්වලා ගඟ පිටාර ගලා ගිය අතර, සවස වනවිට අකුරැස්ස ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.

පානදුගම මාරගොඩ ප්‍රදේශයේ මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල විය. අකුරැස්ස පිටබැද්දර මාර්ගය ජලයෙන් යටව පැවතීම හේතුවෙන් පානදුගම ප්‍රදේශයට තංගල්ල නාවික හමුදාවේ ජීවිතාරක්ෂක භට කණ්ඩායමක් පැමිණ බෝට්ටුවකින් ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයූහ.

මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ සම්මත මිනුම්වලට අනුව අකුරැස්ස පානදුගම ජල මාපකයේ නිල්වලා ගගේ සාමාන්‍ය ජල මට්ටම ලෙස සලකනු ලබන්නේ මීටර් 3.2 කි. පිටාර මට්ටම වන්නේ මීටර් 5.8 කි. අද (23) දින උදෑසන 06.15 වන විට එහි අගය ලෙස සටහන්ව ඇත්තේ මීටර් 6.38ක් ‍ලෙසටය.