අගමැතිගේ පෞද්ගලික නිවසට ගිනි තබයි


(අංජුල මහික වීරරත්න)

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ කෞතුක භාණ්ඩ වලින් යුතු මෙම නිවසේ වැඩිපුරම තිබුණේ පොත් පත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නවීන භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවත් පැරණි ගෘහ භාණ්ඩ පමණක් තිබූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගෙබිමට අල්ලා තිබූ ටයිල් පවා නවීන ඒවා නොව පැරණි මැටි ටයිල් විශේෂයක් බව සඳහන් වෙි. අග්‍රාමාත්‍ය ධුරයට හිමි නිල නිවස ලෙස අරලියගහ මන්දිරය තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කිසිදු අවස්ථාවක අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර කොළඹ පස්වන පටුමග පිහිටි මෙම නිවසේ ජීවත් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගිලන්ව සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙම නිවසේ පදිංචිව සිටියහ.

විවිධ සම්ප්‍රදායන්ට අයත් ඉතා පැරණි බුදු පිළිම කිහිපයක්ද මෙම නිවසේ තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පුස්තකාලයේ දී තිබූ දුර්ලභ පොත්පත් ඇතැම් විට ලංකාවේ වෙනත් තැනක නොතිබෙන්නට ඇතැයි අග්‍රාමාත්‍යවරයාට සමීප ප්‍රකාශකයෙක් කීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ