ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. ට්‍රම්ප්ගේ අධ්‍යාපන ලේකම්වරිය (ඇමැති) ලින්ඩා මැක්මැහොන් ප්‍රමුඛ ට්‍රම්ප් පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක්, අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ මාධ්‍යවේදීහු එම අවස්ථාවට එක් වී සිටියහ.
අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමිය යුතුයි යන්න කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන සිහිනයක් විය. තමන් යළි බලයට පත්වුවහොත් වහාම එසේ කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් ද දී තිබුණි.
ජනාධිපති ට්‍රම්ප්, ‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ (ඩොජ්) නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර තිබේ. එය බාර දී ඇත්තේ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ටය.
‘රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව’ ද අධ්‍යාපන අමත්‍යාංශයේ අනව්‍ය වියදම් ගැන ට්‍රම්ප් දැනුවත් කර ඇත. එය ද අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට එක් හේතුවකි.
ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් කළේ, ඇමෙරිකානු අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්, අධ්‍යාපන අමත්‍යාංශය ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් ට්‍රම්ප් චෝදනා නගමිනි.
ඇමෙරිකාවේ අධ්‍යාපනය, යුරෝපයේත් චීනයේත් අධ්‍යාපනයට වඩා පසුගාමී බව පෙන්වා දෙමින් ට්‍රම්ප් අවධාරණය කළේ ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට තමන් පියවර ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)