අප්‍රේල් මාසයේ උද්ධමනය පහළට


අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2ක දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ වසරේ මාර්තු මාසයේදී උද්ධමනය සියයට 5.4ක් ලෙස දැක්විණි. පසුගිය වසරේ පැවැති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පූර්ණ වශයෙන් ඊට හේතු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස මගින් මතුපිට උද්ධමනය ගණනය කරයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 13.2ක් විය. ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ මාර්තු මාසයේදී සියයට 2.5ක් වූ අතර එය අප්‍රේල් මාසයේදී සියයට 2.1ක් දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මාර්තු මාසයේදී සියයට 4.7 ක් ලෙස පැවැති අතර අප්‍රේල් මාසයේදී එය සියයට 4.8ක් දක්වා ඉහළ ගියේය.

ආහාර කාණ්ඩයේ අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම හේතුවෙන් අප්‍රේල් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.1ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් මාසයේදී පොල්, කුළුබඩු, පොල්තෙල් සහ කරවල මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. එම මිල ඉහළ යෑම්වලින් ඇති වූ බලපෑම රජයේ මැදිහත් වීම හේතුවෙන් සමනය විය. ‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ රජය මැදිහත් වී සහල්, පරිප්පු, ලොකු ලූණු සහ ටින්මාළු වැනි ආහාර අයිතමවල මිල අඩු කළේය.

උත්සව සමයේදී ඇති වන ඉල්ලුමත් සමඟ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේදී ඉහළ යන ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්, ‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තියත් සමඟ රට වසාදැමීම නිසා පසුගිය මාසයේදී නොවෙනස්ව පැවැතුණි.

ආර්ථිකයේ යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 2.9ක්ව පැවැතුණි. එය අප්‍රේල් මාසයේදී සියයට 3.1ක් දක්වා ඉහළ ගියේය. කෙසේ නමුත් වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය මාර්තු මාසයේදී සියයට 4.9ක් වූ අතඑ පසුගිය මාසයේදී සියයට 4.7ක් දක්වා පහළ ගියේය. එය මාස පහකදී දක්නට ලැබුණු අවම අගයයි. 

055