අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා


(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා එම නිවාසය ඊයේ(31) වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කළේය.

1977 එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පී. දයාරත්න මහතා  සිය දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව  මෙම නිවාසය  පාවිච්චි කළ අතර 2015  වසරේ දී පාර්ලිමේන්තු අසුන පරාජයවීමෙන් පසුවත් එවකට පැවති රජයන්හි  අවසර මත  මෙම  නිවාසයේ  රැදී  සිටියේය.

වත්මන් ජාතික ජනබලවේගය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීජවරුන් සියළු දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදීමට සිදුවූ අතර ඒ අනුව මෙම නිවාසය නැවත ලබාගැනීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.

මේ අතර අම්පාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය තිලක් රාජපක්ෂ සහ විමලවීර දිසානායක යන මහත්වරුන්, ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස දෙකක් පසුගිය දිනක නැවත අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදී ඇති බව එම කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.