අලි මාමේ ඇයිද මේ මහ විපත කළේ


රෑ කල ගෙවා මවු - පිය සහ පුරුදු             පැලේ 

ශිල්ප  ලබන්නයි ගියෙ මැද  කමතෙ          වෙලේ

පාඩම ඉවර කර ගෙදරට ගියපු                වෙලේ 

අලි මාමේ ඇයිද මේ මහ විපත                 කළේ?

(ආරියසේන හඳුවල)

(කාංචන කුමාර ආරියදාස)

වල් අලි ප්‍රහාරයකින්   සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට අද (08)  බරපතළ හානි සිදු වී ඇතැයි විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා පැවසීය.

පාසල් දරුවන් උදෑසන  තම පන්ති කාමරයට පැමිණෙන විට  පන්ති කාමරය බිත්ති කඩා පුටු ඩෙස් සියල්ල විනාස වී ඇති අයුරු දැක ගැනීමට හැකි වූ බව මව්පියෝ සිසු සිසුවියෝ පවසති.

වසර 5 කට අධික කාලයක සිට සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි තාප්ප ක්‍රීඩාංගනය ආදී ස්ථාන ගණනාවකට අලි ප්‍රහාර එල්ල වී තිබෙන බවත් ඒ පිළිබඳව බලධාරින්ට ලිඛිතව වාචිකව දැනුවත් කළ ද මෙතෙක් කිසිදු විසඳුමක් නොවූ බවද අවසානයේ දී පොදු දේපළ දරුවන්ට ඉගෙන ගැනීමට තිබූ ගොඩනැගිල්ල විනාශ වූ බව විදුහල්පති ප්‍රියන්ත දිසානායක මහතා සඳහන් කළේය.

විද්‍යාලය වටා අලි වැටක් සැකසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වනජීවී දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය ආදී බොහෝ දෙනෙකු සඳහා ඇස්තමේන්තු සකසා තිබුණු බවත් එහෙත් කිසිදු බලධාරියෙක් මේ පිළිබඳව අවධානයක් නොදක්වමින් එක් එක් කණ්ඩායම් වල්අලි තර්ජනය පාසලට සිදුවෙන හානිය දේශපාලන පිල් බෙදීම්ක් නිසා දවසින් දවස කල් දමන බව මාපියෝ පවසති.