අවුරුද්දට මාළු ගන්න බේරුවලට මහ සෙනඟක්


(තුසිත කුමාර ද සිල්වා)

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා  බේරුවල ධීවරවරායට අළුයම සිට  අතිවිශාල පාරිභෝගික ජනතාවක් පැමිණි බව බේරුවල ධීවර වරාය කියයි.

මත්ස්‍ය තොග හා සිල්ලර මිලදී ගැනීමට වෙනත් දින වලට වැඩි කාලයක් ධීවර වරාය පරිශ්‍රය විවෘත කර තබන බවත් මෙම දින කීපය තුළ ලක්ෂ 4 ක පමණ පාරිභෝගික ජනතාවක් බේරුවල ධීවරවරාය පරිශ්‍රයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීහ.

ධීවර වරායට පිවිසෙන මාර්ගවල දැඩි වාහන තදබදයක් දක්නට තිබූ අතර එම හේතුවෙන් වරායට පැමිණෙන ජනතාවට පිටවීමේ පහසුව තකා විශේෂ පිවිසුම් දොරටුවක් ද විවෘතව තිබූ බව දැකගත හැකි විය.

මසුන් මිල දී ගැනීමට පැමිණි පාරිභෝගික ජනතාවගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසූයේ රජය ඉන්ධන මිල අඩු කරත් එම වාසිය තමන්ට නොලැබෙන බවත් සෑම මත්ස්‍ය කිලෝවක් රුපියල් දහසකට වැඩි මිලකට අලෙවි කරන බැවින් ඒ මිල ගණන්වලට තමන්ටද මසුන් මිල දී ගැනීමට සිදුව ඇති බවත් ය .

මේ අතර කරවල වෙළඳුන් ද සාමාන්‍ය දිනවලට වඩා වැඩි මිලකට කරවල අලෙවි කරන අයුරු දැකගත හැකි වූ අතර කරවල කිලෝවක් රුපියල් එක්දහස් පන්සියයක් දෙදහස් පන්සියයක් වන බව දැකගත හැකි විය.