අ’පුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය ගවගාලක් වෙයි


 

(දයාරත්න ඇඹෝගම)

ඓතිහාසික අනුරාධපුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය ඝණ කැළෑවකින් වැසී ගොස් ගවයන් දිගේලි කරන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි දෙස් විදෙස් සංචාරකයන් චෝදනා කරති.

වෙස්සගිරිය ලෙන් සිතුවම් ලොව ඉපැරණිම ලෙන් සිතුවම් අතරට එක්වන පුරාවිද්‍යා වටිනාකමින් අනූන සංස්කෘතික දායාදයක් බවට ප්‍රකටය. එහෙත් අද මෙම ලෙන් විහාර සංකීර්ණය ඇතුළු සමස්ත භූමිය ඝණ කැළෑවකින් වැසී ගොසිනි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අනුරාධපුර රාජධානියේ අවසානය දක්වා ශ්‍රී ලාංකීය ඉතිහාසය ඔප් නැංවීමට අමිල වූ පුරාවිද්‍යාත්මක සාධක රාශීයක් අනුරාධපුර වෙස්සගිරිය ලෙන් විහාර භූමිය තුළින් හමුවී තිබිණි.

භූමිය වටා ආරක්ෂිත වැටක් නොමැති අතර මේ හේතුව නිසාම අසල්වැසියෝ ලෙන් විහාර භූමියේ තැන තැන ඇති ගල් කුළුණුවල ගවයින් ගැට ගසා දිගේලි කරති. මෙය දිගු කාලයක සිට කිසිදු බාධාවකින් තොරව  සිදුකර ගෙන යන බව ප්‍රදේශවාසීහු පවසති.

අතීත මුතුන්මිත්තන්ගේ දහඩියෙන් හා කඳුලින් ඉදිවුණු දස දහස් ගණන් මහ රහතුන් වහන්සේලා වැඩ සිටි මෙවන් පුණ්‍යභූමි , මෑත කාලයේ පුරාවිද්‍යාත්මක පර්යේෂණ රාශියක් සිදුකර නව ඓතිහාසික සංසිද්ධීන් ගණනාවක් ලෝකයට එළිදැක්වූ මෙවන් සංස්කෘතික උරුමයන් මෙසේ විනාශ වීමට ඉඩහැර ඇත්තේ මන්දැයි දෙස් විදෙස් සංචාරකයෝ විමසා සිටිති.

මේ සම්බන්ධයෙන් කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරු මැද සහකාර අධ්‍යක්ෂ ගුණතිලක බණ්ඩා මහතා ගෙන් කළ විමසුමේ දී හෙතෙම මෙසේ පැවසීය.

මෙහි නඩත්තු කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පත් කරලයි තිබුණේ.පසුගිය කාලයේ එහි සේවය කළ අනියම් සේවකයන් විශාල පිරිසක් ඉවත් කළා.ඒ වාගේම කොරෝනා උවදුර නිසා සංචාරකයන් නොපැමිණිමෙන් ආදායම අඩුවිමත් සමග නඩත්තු කටයුතු ඇණ හිට තිබුණා.

දැන් දැන් සංචාරකයන්ගේ පැමිණීම හොඳ මට්ටමක තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් සමඟ සාකච්ඡා කර වෙස්සගිරියේ නඩත්තු කටයුතු සිදු කිරිමටත් එහි ආරක්ෂාව තහවුරු කිරිම සදහාත් පියවර ගන්නවා.