ආසියානු සංචාරකයන්ට ගුවන් තොටුපොළේදීම වීසා


(විනීතා එම් ගමගේ)
 
ආසියාතික රටවල සංචාරකයන් මෙරටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම් සලසාදීම  පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි ක්‍රිස්තියානි කටයුතු වනජීවී හා සංචාරක කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
 
වීසා ලබා  ගැනීමේ පහසුකම පළමුව තායිලන්ත වැසියන්ට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ස්වභාවය අනුව අනෙකුත් ආසියාතික රටවල් පිළිබඳව ද සලකා බලා කටයුතු කරන බවත් අමරතුංග මහතා කීවේය. 
 
ආසියානු රටවල සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් මේ යෝජනාව ගෙන ආ බව කී අමාත්‍යවරයා සංචාරකයන් ගුවන් තොටුපලේ රස්තියාදු වීම අවම කිරීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් වැඩිකිරීමත් මෙහිදී සිදුවන බව ද කියා සිටියේය. 
 
තමන් මෑත දිනක දී තායිලන්තයේ සංචාරය කළ බව කී අමාත්‍යවරයා තායිලන්තයට බුදු දහම ගෙන ගියේ ශ්‍රී ලංකාවෙන් වුවත් එහි වැසියන් ශ්‍රී ලංකාව ඇති ස්ථානයවත් දන්නේ නැතැයි ද පැවැසීය. 
 
තායිලන්ත වැසියන්ගෙන් 90%ක් බෞද්ධයන් වන නිසා ඔවුන්ව ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ගෙන්වා ගත හැකි නමුත් අදාළ අංශ මේ පිළිබඳව උනන්දු වී නැතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය. 
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ රාමඩා හෝටලයේ අද (14) පැවති ශ්‍රී ලංකා හෝටල් සංගමය හා ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ සංගමය විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමිනි.