ඇඟලුම් නිෂ්පාදනයට කෙසෙල් කෙඳි


(දසුන් රාජපක්ෂ) 

ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා  කෙසෙල් කෙඳි භාවිත කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා පේෂකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

ඇඟලුම් නිපදවීමේදී අමුද්‍රව්‍ය හිඟවීමේ ගැටලුවට කෙසෙල් කෙඳි සාර්ථක විකල්ප අමුද්‍රව්‍යයක් වන බව පර්යේෂණ කිහිපයකදී අනාවරණය වූ බව පේෂකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට ප්‍රකාශ කළේය.

අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද, කෙසෙල් කෙඳි භාවිතකිරීම හේතුවෙන් විදෙස් රටවලට යන විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවේ රඳවා තබාගැනීමට හැකි වන බවද එම ප්‍රකාශකයා කීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යොදාගනිමින් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

කෙසෙල් කෙඳි, ඇඟලුම් කර්මාන්තය සඳහා යොදාගැනීමෙන් මූල්‍යමය ප්‍රතිලාභ මෙන්ම, සෞඛ්‍යාරක්ෂිත බවද, පරිසර දූෂණය අවමවීම වැනි කරුණු ද ඉටු වන බව එම ප්‍රකාශකයා කීය.