ඇමෙරිකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට කෑම නෑ


ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් පහෙන් එකකට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බව නව පර්යේෂණ වාර්තාවකින්අනාවරණය වී ඇත.

ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතනයක් වන බෲකින්ස් ආයතනය කරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති අතර මවුවරුන් සම්බන්ධ කරගනිමින් එම පර්යේෂණය කර තිබේ.

එම අනුපාතය 1930 වසරේ ඇති මහා ආර්ථික අවපාතයට වඩා දරුණු බවත් 2008 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදය පැවැති සමයට වඩා තුන් ගුණයකින් ඉහළ බවත් පැවසේ.

නිවසේ තිබෙන ආහාර ප්‍රමාණය අඩු වීමත් සමඟ මාපියන් දරුවන්ට දෙන ආහාර වේල් මඟහරින බව ද මෙහිදි අනාවරණය වී තිබේ. වයස අවුරුදු 12ට අඩු දරුවන් සිටින නිවෙස්වල දරුවන්ගෙන් සියයට 17.4ක් ප්‍රමාණවත් පරිදි ආහාර නොගන්නා බවත් ඉහත කී පර්යේෂණයෙන් සොයාගෙන ඇත. මහා ආර්ථික අවපාතය පැවැති සමයේදී එම ප්‍රතිශතය සියයට 5.7ක් වූ බව ද පැවසේ.

ප්‍රමාණවත් පෝෂණය නොලැබීමෙන් කුඩා හා තරුණ දරුවන් ට දීර්ඝකාලීන සංවර්ධන ආබාධ ඇතිවිය හැකියි.

‘‘මේක අනතුරු ඇඟවීමක්’’ යැයි මෙම පර්යේෂණය අධීක්ෂණය කළ ආර්ථික විද්‍යාව පිළිබඳ බෲකින්ස් ආයතනයේ විද්‍යාර්ථී ලෝරන් බවර් කීවාය.

‘‘ගෙවල්වලින් දරුවන්ට දෙන ආහාර ප්‍රමාණය සීමා කරලා. දරුවන්ට ආහාර ලැබෙන්නේ නැහැ. අපි හිතනවට වඩා මේ සංඛ්‍යා ඉහළ’’ යැයි ද ඇය පැවැසුවාය.

පාසල්වල ආහාර වැඩසටහන්වලට බාධා එල්ල වී ඇති බව ද ඇය සඳහන් කළාය. ඇතැම් පවුල්වල වැඩිහිටි දරුවන් මේ සීමිත ආහාරවලට තරග කරන බව ද ඇතැම් පවුල්වලට ආහාර තිබෙන ස්ථානවලට ළඟා වීමට නොහැකි බව ඇය කීවාය.

පර්යේෂණය සොයාගැනීම් මෙලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ආහාර මුද්දරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර මතභේද පවතින අවස්ථාවකදීය. ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී ආහාර මුද්දරය සහ ඉන් දෙන ප්‍රතිලාභ සියයට 15කින් වැඩි කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලා සිටී. 2009 වසරේ ආර්ථික පසුබෑම අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ග ගත් බවත් එමඟින් කුසගින්න අඩු කරගැනීමට හැකි වූ බවත් ඩිමොක්‍රටික් පක්ෂය පෙන්වාදෙයි.

ආහාර මුද්දරය සහ එමඟින් ලබාදෙන සහන කෙටිකාලයක් සඳහා සියයට 60කින් වැඩි කිරීමට එක්සත් ජනපද කොංග්‍රසය පියවර ගෙන ඇත. කෙසේ නමුත් දුප්පතුන්ට සහන නොලැබෙන බවට ද චෝදනා එල්ල වී ඇත. තවත් සහන වැඩසටහන් ඇතුළු ආරක්ෂණ ආදී වැඩසටහන් ක්‍රියාත්මක බවත් එමඟින් වැඩිවෙන අවශ්‍යතාවලට ප්‍රමාණවත් බවත් රිපබ්ලිකන් පක්ෂය පෙන්වාදෙයි.

‘ද නිව්යෝක් ටයිම්ස්’

055