පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අවසන් කිරීම සඳහා හමුදාව කැඳවන්නේ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතා පාලනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 21කට වැඩි ගණනක් ජාතික ආරක්ෂක බළකාය කැඳවා තිබෙන අතර නගර 120කට වැඩි සංඛ්‍යාවකට විරෝධතා පැතිර ගොස් ඇත. ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පැවැත්වෙන විරෝධතා කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් එරට තුළ පැතිර යන්නේ යැයි ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කර තිබිණි.
පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් වෙතින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට රටවල් ගණනාවකට පැතිර ගොස් ඇත.
ඇමෙරිකාවේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගැනීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සිය කනස්සල්ල පළ කර ඇති විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් රටවල් රැසක් සිය විරෝධය පළ කර ඇත.
සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ආරම්භ වී මේ වනවිට සතියකට ආසන්න කාලයක් ගත වී තිබේ.
මෙම විරෝධතා ආරම්භ වීමෙන් පසු පළමු වතාවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙරේදා ප්‍රසිද්ධියේ පෙනී සිටි අතර ඔහු ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතීමට පෙර ධවල මන්දිරය වටා සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ ‘රෝස් ගාඩ්න්’ සිට මාධ්‍ය ඇමතීමට මොහොතකට පෙර ආරක්ෂක අංශ ඇතුළු පොලීසිය ඒ ආසන්නයේ සාමකාමී ලෙස විරෝධතාවයේ නිරත වී සිටි විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්, රබර් උණ්ඩ යනාදිය යොදාගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමරිකානු ජනාධිපතිවරයා වේදිකාව මත නැගී සිට තමන් ‘‘නීතියේ හා සාමයේ ජනාධිපතිවරයා’’ යයි ප්‍රකාශ කරද්දි අවට පරිසරය තවත් කඳුළු ගෑස්වලින් පිරී ගියේ යැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරය ආසන්නයේ තිබෙන ඓතිහාසිකට ශාන්ත ජෝන් දේවස්ථානයට ගොස් බයිබලය අතැතිව ඡායාරූපයකට පෙනී සිටියේය. ඔහු එහිදි ලොව ශ්‍රේෂ්ඨතම රට ඇමෙරිකාව යැයි ද කීවේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙවස්ථානයට ගියේ දැඩි ආරක්ෂක රැකවල් මැදය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා දේවස්ථානයට යෑමත් ඔහු එහි හැසිරුණු ආකාරයත් මේ වනවිට දැඩි විවේචනයකට ලක්ව ඇති අතර ඊට කතෝලික පූජකවරුන් ඇතුළු ආගමික නායකයන් මෙන්ම තවත් බොහෝ පිරිසකගෙන් චෝදනා එල්ල වී ඇත.
තමන් ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් එහෙත් මෙම අවස්ථාව රට තුළ වෙනසක් කිරීම සඳහා යොදාගත යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.
විරෝධතාවලට එක්වූ 5,000කට වැඩි පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. විරෝධතා අතරවාරයේදී කඩසාප්පු රැසක් ගිනිබත් වී තිබෙන අතර වොෂින්ටන් අගනුවර වීදි පෙරේදා රාත්‍රියේදී කහපාටින් දිස්වූයේ දුම් වළාද සමඟ ය.
මංකොල්ලකෑම් ද මේ අතරවාරයේදී සෑම නගරයකින්ම පාහේ වාර්තා වන බවත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක දේපළ හානි සිදු වී ඇති බවත් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය.
විරෝධතා අතරවාරයේදී පස් දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වොෂින්ටනයේ ආරක්ෂාව සඳහා හමුදා පොලිසිය යොදවා ඇත.
විරෝධතා අතරවාරයේදී පොලිස් නිලධාරීන් ද පහර කෑමට ලක්ව ඇති අතර මාධ්‍ය නිදහස කඩ වූ සිදුවීම් 100කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍යවේදීන් සුරැකීම සඳහා කමිටුව සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත.
චීනය සහ ඉරානය යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙදෙනා ය. පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා විරෝධතා පැවැත්වෙන අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
වර්ගවාදය ඇමෙරිකානු සමාජය තුළ මුල් බැස රෝගයක් යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියෑන්ග් අද (2) පැවැසීය.
චීනයේ බීජිං නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතාවලින් වර්ගවාදය කොතරම් විශාල ප්‍රශ්නයක් වී ඇත් ද යන්නත් එහ බරපතළකම මෙන්ම ඇමෙරිකානු පොලිසියේ ප්‍රචණ්ඩත්වය ද පෙනී යන බව ඔහු කීවේය.
ඇමෙරිකානු ආණ්ඩුව සහ පොලිසිය ඔවුන්ගේම වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි අවධාරණය කරන බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අබ්බාස් මුසාවි පැවැසීය.
‘‘අපි ඇමෙරිකානු බලධාරීන්ටත් පොලිසියටත් අවධාරණය කරනවා. තමන්ගෙම මිනිස්සුන්ට එරෙහිව දියත් කරන ප්‍රචණ්ඩත්වය නවත්වන්න. ඔවුන් හුස්ම ගන්න දෙන්න’’ ඉරානයේ තෙහ්රාන් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්බාස් මුසාවි අද (1) පැවැසීය.
‘‘ඇමෙරිකානු ජනතාවට අපි කියන්න ඕනේ. ලෝකය ඔබ සමඟ සිටිනවා’’ යැයි ද ඔහු කීය.
ඇමෙරිකානු පොලීසියේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඉරානය කම්පාවට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් කීවේය.
ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද චෝදනා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය චෝදනාවකටත් වඩා අපහාසයක් යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ඩ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ නගර සියයකට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන උද්ඝෝෂණ මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, නීති බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දුර්වල යැයි එහිදි චෝදනා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද අවධාරණය කර ඇත.
‘‘ඔබ බොහෝදෙනෙක් දුර්වලයි. ඔබට මිනිස්සු අත්අඩංගුවට ගන්න වෙනවා’’ යැයි ට්‍රම්ප් කීය.
ඒ.එෆ්.පී./රොයිටර්ස්
055
ඡායාරූප - ඒ.එෆ්.පී./රොයිටර්ස්/‘ද නිව්යෝක් ටයිම්ස්’