ඇවිදින මංතීරුවට පක්ෂ - විපක්ෂ ගුටි කෙළියක - වීඩියෝ


(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලිමට  ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රුපියල් කෝටි දෙකක් වියදමින් ඉදිවන ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව වසා දමා තිබුණි.

සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට පැමිණි නාවලපිටිය නගර සභාවේ වත්මන් සභාපති අමල් ප්‍රියංකර මහතා සහ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් , ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු උණුසුම් තත්ත්වයකින් අනතුරුව දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

දෙපාර්ශවයේ ඇති වු උණුසුම් තත්ත්වය ගුටිබැට හුවමාරුව පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුවද අවස්තා කිහිපයකදි යළිත් ගුටිබැට හුවමාරුව ඇති විය.

ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවය  නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර,ගැටුමට මැදි වු ජාතික සමගි ජන බලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වි ඇත.