ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය


(චමිල් රූපසිංහ)
 
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය  සඳහා කප් රුක කැපීමේ මංගල්‍යය (කල්ප වෘක්ෂ පෙරහර) අද  (01) අලුයම 4.33 ට යෙදුණු සුබ මොහොතින් සිදුකෙරිණි.
 
මහනුවර විෂ්ණු දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ඒකාබද්ධව අලුත්නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කපන ලදී. මේ අවස්ථාවේදී එම වෘක්ෂය හඳුන්වනු ලබන්නේ “ පනස “ වෘක්ෂය වශයෙනි.
 
මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සඳහා අවසරය ලබාදුන්නේය. කපා ගත් කප මහනුවර ශ්‍රී විෂ්ණුදේවාලය දක්වා වැඩවීම අද (01) උදෑසන මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයෙන් ඇරඹිණි.
 
අගෝස්තු 14 වන දින නිකිණි පුරපසළොස්වක පෝය දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර ඊට පසුදින දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.