ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය මෙරටට


(ටී.කේ.ජී.කපිල)

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් අද සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ .

මෙම එන්නත් තොගය, ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් අද (31) සවස 04.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.