ඉතාලියේ ආපනශාලා-බීමහල් විවෘත කරයි


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් වසා දැමුණු ආපනශාලා, තේපැන්හල්, බීමහල් විවෘත කිරීමට ඉතාලිය පියවර ගෙන ඇත.

නිවසේදී හෝ ඉන් පිටතදී හෝ සිය පවුල්වල සාමාජිකයන්, හිතමිතුරන්, සමීපතමයන් හෝ තමන්ට කැමැති ඕනෑම පුද්ගලයකු මුණ ගැසීමට මේ වනවිට ඉතාලි ජනතාවට අවසරය හිමි ව තිබේ. 

කෙසේ නමුත් විශාල මහජන රැස්වීම් තවමත් තහනම් වන අතර පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය වේ. 

එපමණක් නොව පොදු ස්ථානවලදී සමාජ දුරස්ථභාවය ද පවත්වා ගත යුතුය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටක් වනුයේ ඉතාලිය යි. 

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉතාලිය මාස දෙකකට ආසන්න කාලයක් වසා දැමිණි.

ඉතාලි බලධාරිහු වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ මැයි මස 4 වැනිදා සිට ලිහිල් කිරීමට පියවර ගත්හ.

මැයි මස 25 වැනිදා කායවර්ධන මධ්‍යස්ථාන, පිහිණුම් තටාක සහ ක්‍රීඩා මධ්‍යස්ථාන විවෘත කිරීමට ද ඉතාලි බලධාරීහු තීරණය කර ඇත.

යුරෝපයේ ෂෙන්ගන් කලාපයේ පිරිස්වලට ජූනි 3 වැනිදා සිට ඉතාලියට යෑමට අවස්ථාව ලැබෙන අතර එය ඉතාලියේ සංචාරක කර්මාන්තය විශාල පිටුවහලක් වනු ඇත.

එතැන් පටන් ඉතාලි වැසියන්ට නිදහසේ රට තුළ ගමන් කිරීමටත් සංචාරය කිරීමටත් අවස්ථාව උදා වේ. 

ඉතාලියේ සිනමාශාලා විවෘත කෙරෙන්නේ ජූනි 15 වැනිදා ය.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ඉතාලිය දින 69කට අධික කාලයක් අඟුළු දමා තිබිණි.

ඉතාලිය යනු ‘පීසා’වලට සුප්‍රකට රට ය. කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ අවන්හල් වසා දැමුණු අතර එරට ජනතාවට පීසාවල රස විඳීමේ අවස්ථා ද සීමා විය. අවන්හල්, බීමහල් විවෘත කිරීමත් සමඟ පීසා රසවිඳීමේ අවස්ථාව ද එරට ජනතාවට උදා වී ඇත.
අවන්හල් විවෘත කළ ද ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ගැටලුවක් උද්ගත වී ඇත. පාරිභෝගිකයන්ට අවන්හල්වල සිට ආහාර ගැනීමට අවස්ථාව දෙනවාද නැද්ද යන ප්‍රශ්නයට මුහුණ දීමට අවන්හල්හිමියන්ට සිදුව ඇත. ඊට ප්‍රධාන හේතුව වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම තිබෙන සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමේ නීතිය යි.

‘‘අපි දින 15ක් 20ක් විවෘත කර තබනවා. අපි අවන්හල් විවෘත කරලා බලනවා. මිනිස්සු ආවේ නැත්නම් අපට කඩ වහන්න වේවි’’ යැයි එක් අවහන්හල් හිමියෙක් කීය.
 
ඒ.එෆ්.පී.

055