ඉන්දියාවේ නිෂ්පාදිත කුරහන්පාට දුම්රිය මැදිරි 30ක් කොළඹ වරායට


(රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා වසංගත පෙර ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය එකසිය හැට ව්‍යාපෘතිය යටතේ ඇණවුම් කරනු ලැබූ කුරහන් පැහැගත් මැදිරි තිහක් කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියෙන් මෙරටට රැගෙන ආ බව දුම්රිය නියෝජ සාමාන්‍ය අධිකාරී (ප්‍රසම්පාදන) අසේල පතිරත්න මහතා පැවසීය.

මෙම කුරහන් පැහැගත් දුම්රිය මැදිරි ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් (INTEGRAL COACH FACTORY) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත මැදිරි බවද ඒ මහතා පැවසීය.මෙරටට ගෙන එනු ලැබූ මැදිරි තිහේ වටිනාකම ඇමරිකානු ඩොලර් ලක්ෂ 147ක් බව අසේල පතිරත්න මහතා පැවසීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබූ මැදිරි එකසිය හැටෙන් දහයක් 2021 මාර්තුමස මෙරටට රැගෙන ආ අතර අද දින ලැබී ඇති මැදිරි තිහ සමග ලැබී ඇති මැදිරි මුළු ගණන 40 ක්බවද ඔහු පැවසීය.

ඒ අනුව ඇනවුම් කොට ඇති මැදිරි 160 යටතේ තවත් මැදිරි එකසිය විස්සක් ලැබීමට නියමිත බවද ඒ මහතා පැවසීය.

ගෙන්වු මැදිරි කට්ටල අතර 3වන පංතියේ මැදිරි දහතුනක්, 2වන පංතියේ මැදිරි අටක්,3වන පංතියේ තිරිංග මැදිරි හතරක්,2වන පංතියේ තිරිංග මැදිරි එකක්,1වන පංතියේ වායුසමන මැදිරි තුනක්,තැපැල් තිරිංග මැදිරි 1 ඇති බවද ඒ මහතා පැවැසීය.

එම මැදිරි දිගින් මීටර් විස්සක් පමන වන බව සඳහන් කල ඒ මහතා මෙම මැදිරි මීට පෙර මෙරටට ගෙන්වන ලද එම් එකොළහා (M11) දුම්රිය එන්ජින් සඳහා සැකසු මැදිරි බව පැවසිය.

එම මැදිරි පහත රට ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ ධාවනය කිරීමට නියමිතය.