ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මරුට


ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රන්ගාබාද් හි සංක්‍රමණික කම්කරුවන් 16 දෙනකු දුම්රියකට යටවීමෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.

දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයන් මතින් දුම්රිය ගමන් කර ඇතැයි බලධාරීහු පවසති. 
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගුලු දමා ඇති ඉන්දියාවේ නගර වල සේවය කරන කම්කරුවන් බොහෝ දෙනකු දුම්රිය මාර්ග ඔස්සේ පයින්ම තම ගම්බිම් කරා ගමන් කරන බවත් එලෙස ගමන් කිරීමේදී වෙහෙසට පත් පිරිසක් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මියගිය කම්කරුවන් පිරිස සැතපුම් 22ක් පමණ ඇවිදීමෙන් පසු විවේක ගැනීමට තීරණය කර ඇති අතර දුම්රිය ධාවනය නොවන බවට උපකල්පනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළවී ඇත.

නගර වසා දැමීම හේතුවෙන් බොහෝ කම්කරුවන්ට ආහාර පාන මිලදී ගැනීමේ ගැටලු ඇතිවී තිබෙන බවත් ඔවුන් ගම්බිම් කරා ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් පැවසේ.

ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් මුහුණ දී තිබෙන දුක්ඛිත තත්ත්වය සම්බන්දව බොහෝ දෙනා කෝපය පලකර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ රන්ගාබාද් හි සිදුවූ මාරක රිය අනතුරින් ජීවිත අහිමි වීම සම්බන්දව තමා අතිශයින් ශෝකයට පත්ව ඇති බවයි.

සීමාවන් ලිහිල් කිරීමත් සමග ගම්බිම් බලා යන සංක්‍රමණිකයන්ට විශේෂ බස්රථ හා දුම්රිය ලබාදෙන බව ඉන්දීය රජය නිවේදනය කර තිබේ.


(බීබීසි ඇසුරිණි - 085)