ඉන්ධන අර්බුදය මැදත් හම්බන්තොට වරායේ මෙහෙයුම් අඛණ්ඩව



 
අත්‍යාවශ්‍ය සේවාවක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HTP), වරාය සේවා, සමුද්‍ර සේවා, බලශක්ති කේන්ද්‍රස්ථානය, වරාය කර්මාන්ත උද්‍යානය සහ සමෝධාන කාර්යය උපාය, ආදී සියලු‍ම මෙහෙයුම්, රට තුළ පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම වරාය සමාගම සඳහන් කරයි. නැව්ගත කිරීම්, කාර්යෝපාය මෙහෙයුම් සහ අනෙකුත් සේවා කිසිදු බාධාවකින් තොරව පැය 24 පුරාම ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීම HIP විසින් සහතික කොට ඇත.

මෑතකදී, HIP වෙත පැමිණි MV Bahri HOFUF බහුකාර්ය යාත්‍රාව, ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කළ වාහන තොගයක් රැගෙන මෙක්සිකෝවේ වේරා කෘස් වරාය බලා පිටත් විය. මෙවන් බහුකාර්ය යාත්‍රාවල විශේෂ අංගයක් වන්නේ, කන්ටේනර්, තොග භාණ්ඩ ඇතුළු විවිධ දේ ප්‍රවාහනය කිරීමට හැකි පරිදි නිර්මාණය කර තිබීමයි. බහුකාර්ය නෞකා සඳහා සේවා සැපයීමට සියලු‍ පහසුකම් HIP සතුව ඇති අතර, මේ වසර මුල දී, දැනට හසුරුවා ඇති විශාලතම වාහන ප්‍රති නැව්ගත කිරීම, H.V. Glovis Champion නෞකාව හරහා වරාය විසින් සිදු කළේය.

වරාය සඳහා ඉතා ඵලදායී වූ 2022 වසර මුල් භාගය තුළ, ටොන් මිලියන 1.14 කට ආසන්න හැසිරවීමේ ධාරිතාවක් වාර්තා කිරීමට වරාය සමත් විය. ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්) සමාගම සහ ඉන්සී සිමෙන්ති සමාගම වැනි ආයතන, HIP සමඟ ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය හේතුවෙන් රටේ දකුණු ප්‍රදේශයේ ක්‍රියාත්මක සිමෙන්ති නිෂ්පාදකයන්ගේ සැපයුම් දාම කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත.

බහුකාර්ය වරායක් ලෙස වර්ධනය වෙමින් පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වර්තමානයේ දී නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයේ වාහන ප්‍රති නැව්ගත කිරීමෙහි නියැලී සිටින අතර, ඉන්ධන තොග වශයෙන් සැපයීම, භාණ්ඩ තොග කොටස් කිරීම, බලශක්ති සේවා සහ සමුද්‍ර සේවා ආදී සේවා ගණනාවක් පිරිනමයි. HIPහි ඊළඟ පියවර බහාලු‍ම් හැසිරවීම වන අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් සකස් වෙමින් පවතී

595