ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගනී


(නිමල් ජයරත්න)
 
වෙහෙරගල ප්‍රදේශයේදී  මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු අද(28) වනජීවි නිලධාරීහු පිරිසක් ගොඩගෙන අලුත්ඔය රක්ෂිතයට මුදාහැරීමට පියවර ගත්හ.
 
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුළු වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු අලියා ගොඩගැනීමට පැය හතරක මෙහෙයුමක් ක්‍රියාත්මක  කළහ.
 
අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බවත්, කිලෝමීටර් හතරක් පමණ දුරක් සැඬපහරට ගසාගෙන ගොස් ඇති බවත් ශාන්ත මහතා පැවසීය.
 
ප්‍රදේශවාසීන්ගෙන ලද තොරතුරකට අනුව එහි ගොස් ටයර්, කඹ සහ යකඩ දම්වැල් ආධාරයෙන් අලුත්ඔය ප්‍රදේශයෙන් අලියා ගොඩගත් බවත් වෙහෙරගල අඩවි සහකාරවරයා සඳහන් කළේය.