ඊශ්‍රායල හමාස් ගැටුමට වහා මැදිහත් වී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉරාන ජනාධිපති රයිසි, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගෙන් මෙම ඉල්ලීම කළේ දුරකතන ඇමතුමක් දී, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වමිනි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඉන්දියාවේ කාර්යභාරය වැදගත් බව ඉරාන ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙන්වා දී තිබේ. මේ වනවිට ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 10,000 කට වැඩි දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.
යුදෙව් ඊශ්‍රායලය, මුස්ලිම් පලස්තීන වැසියන් පීඩාවට පත් කිරීම වැරදි බවත්, පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුළු ලෝකයම ඊශ්‍රායලයට විරුද්ධ විය යුතු බවත් ඉරාන ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට පෙන්වා දී තිබේ.
(එන්.ඩී.ටීවී.)