උතුරුමැද මහ ඇළේ ඉන්ධන සොරා කෑ ජාවාරම්කරුවන් කොටු


(කුෂාන් ජයවර්ධන)

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් කලක් තිස්සේ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමට  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අද (16) සවස සමත්වූහ.

ලද තොරතුරකට අනුව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අද(16) පස්වරුවේ එම වැටලෑම සිදු කෙරිණ.

පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අනදෙන නිලධාරී එම් එම් කේ පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් අදාළ වැටලීමට එක්ව තිබිණ‍ .

අත්අඩංගුවට ගැනුණ ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවරයන් සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකරු හෙට(17) කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.