එජාප නියෝජ්‍ය නායක-මහ ලේකම් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනිති



(දයාරත්න ඇඹෝගම)

 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් රංග බණ්ඩාර යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරු පිරිසක් අද(27) ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත්හ.
 
ඔවුහු ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන පසුව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වුහ.
 
ආගමික වතාවත්වලින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසීය.
 
“පුරප්පාඩු වී පවතින පාර්ලිමේන්තුවේ අසුන සඳහා හරිවේලාවට තීරණයක් රැගෙන පුද්ගයෙකු පාර්ලිමේන්තුවට යවනවා. අපට එච්චර ලොකු හදිස්සියක් නැහැ. පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියලා අපි බලාගෙන හිටියා මෙච්චර කාලයක්. පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබදවත් ජනතාවගේ විවේචනයට ලක්වී තිබෙනවා.
 
රට වැටී ඇති තත්වය පිළිබදව සලකා බලන විට අද අපට අවශ්‍යව ඇත්තේ තනතුරු නොවෙයි. අපි කවුරුත් මැදිහත් වෙලා රටේ ජනතාවට සේවය කිරීමයි. රටේ තත්වය පිළිබඳව විශාල කනගාටුවක් තිබෙනවා. රට සංවර්ධනය වෙමින් ඉදිරියට යයි කියලා තමයි අපි බලාපොරොත්තු වුණේ. එහෙත් දැන් ප්‍රශ්න ගැටළු රැසකට මුහුණදීමට සිදුවෙලා” යැයිද ඒ මහතා පැවසීය.
 
මෙම අවස්ථාවට හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංදිත් සමරසිංහ, සමන් රත්නම්ප්‍රිය, අනුරාධපුර එජාප සංවිධායක නීතිඥ කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු එජාප ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.