එරොෆ්ලොට් ගුවන් සේවය ආයෙත් ලංකාවේ වැඩ අරඹයි


(ටී.කේ.ජී.කපිල)

මාස 04 ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත  අද (10) උදෑසන පැමිණියේය .

රුසියාවේ මොස්කව් නුවර  ෂෙරමැතියෝවෝ (Sheremetyevo) ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කළ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය උදෑසන 10.03 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ-330- 300 එයා බස් වර් ගයේ ගුවන් යානයක් පළමු ගුවන් ගමන සදහා පැමිණ තිබූ අතර එහි ගුවන් මගීන් 252 දෙනෙකු සහ නියමුමන් ඇතුළු කාර් ය මණ්ඩලය 12 දෙනෙක් ද සිටියහ.

මෙම එරොෆ්ලොට් ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියකම සදුදා සහ සිකුරාදා රුසියාවේ මොස්කව් සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර පැය 09 ක ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය .

එසේම එළඹෙන නොවැම්බර් සිට මාර්තු මාසය දක්වා වු ශීත ඍතු කාළසීමාව තුළ සතියකට දින 03 ක් , එනම් සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර , මේ සදහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර 75% ක් ම මේ වනවිට අලෙවි කර අවසාන බව එරොෆ්ලොට් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .

මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය පිළිගැනීම සදහා ගුවන් , වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු , එරොෆ්ලොට් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතයෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .