ඔරායන් ආපසු එනවා !


'ආර්ටිමිස් 1' පුහුනු මෙහෙයුම යටතේ සඳට යැවුණු ‘ඔරායන්’ කැප්සියුලය, අද (11) පෘථිවිය බලා පැමිණෙනු ඇත.

‘ඔරායන්’ කැප්සියුලය යළි පෘථිවියට පැමිණෙන්නේ සති 3 ක වික්‍රමයකින් පසුවය. පුහුණු මෙහෙයුමක් බැවින් කැප්සියුලය සඳට පතිත කළේ නැත. එය සඳුගේ කක්ෂයට පිවිසියා පමණි.

අද (11) පෘථිවි වායු ගෝලයට පිවිසෙන ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එයි. වේගය අඩාල කිරීම සිදුවන්නේ යෝධ පැරෂූට් දිග හැරෙමිනි.

කැප්සියුලය පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදට පතිත වනු ඇති අතර, යානය පැමිණෙන තුරු ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටී.

‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, 2024 වසර මුලදී ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙයි. මෙය ද එක්තරා ආකාරයක පුහුණු මෙහෙයුමකි. ගගනගාමීහු තිදෙනෙක් මේ සඳහා සහභාගී වෙති.

‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොස්, සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.

‘ආර්ටිමිස් 2’ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් 2025 දී ‘ආර්ටිමිස් 3’ චන්ද්‍ර මෛහයුම ආරම්භ වනු ඇති අතර, එහිදී ‘ඔරායන්’ කැප්සියුලය නාසා ගගනගාමීන් සමඟ සඳට ගොඩබානු ඇත.

පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇත්තේ එම ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.

(නාසා ඇසුරිනි)