කහපොළ ශාඛ්‍ය ජනපදය කලෑවට යටවෙයි


(ඩයනා උදයංගනී)

පිළියන්දල,කහපොළ ප්‍රදේශයේ ඉදි කළ ශාඛ්‍ය ජනපදයේ කටයුතු අතරමඟ නතර කිරීම නිසා එම භූමිය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

පිළියන්දල,කහපොල,රෙජිඩේල් වත්තේ අක්කර 78 ක් භූමියක් පුරා රුපියල් කෝටි 50ක වියදමින් මෙම ජනපදය ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2017 වසරේදීය.

2019 වසරේ වෙසක් උළෙල හා සමගාමීව විවෘත කිරීමට සැලසුම් කළත් මේ වන විටත් එහි ඉදිකර පවතින්නේ ප්‍රාකාරය සහ ගොඩනැගිල්ලක් පමණක් බව එම ප්‍රදේශයේ කළ සංචාරකයකදී අපට දක්නට ලැබුණි.

දැනට ඉදිකර ඇති ගොඩනැගිල්ල සුද්ධෝදන රජුගේ රාජමාළිගයේ අනුරුව බව ද සඳහන් වේ. ඉන්දියාවේ දඹදිව ඇති සියලු ආගමික ස්ථානවල ජීවමාන අනුරූ, භාෂා 10කින් ධර්ම ප්‍රචාරය කිරීමේ පහසුකම් සහිත සන්නිවේදන මධ්‍යස්ථාන, එකවර දහසක පමණ පිරිසකට භාවනා කිරීමේ පහසුකම් ආදිය සහිතව සංචාරක ආකර්ෂණය ද දිනාගත හැකි ස්ථානයක් ලෙස මෙය ඉදිකිරීමට සැලසුම් කර තිබිණි.

ශාක්‍ය ජනපදය පදනම් වූ මේ රෙජිඩේල්වත්ත අක්කර 78 භූමියක් වන අතර එම භූමියේ මුල් හිමිකරු කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ සමරකෝන් මුදලි නමැති ධනවතෙකි.

ඔහු සිය අවසන් කැමැත්ත මගින් මෙම ඉඩම ද ඇතුළුව තමන් සතු දේපළ විශාල ප්‍රමාණයක් මහාභාරකරුට පවරා ඇති අතර ඒ ඒ ඉඩම් අනාගතයේදී යෙදවිය යුතු කාර්යයන් පිළිබඳව ද ඔහු මහාභාරකරුට ලිඛිතව දන්වා ඇත.

රබර් වගා කළ ඉඩමක් වූ රෙජිඬේල් වත්ත  ආගමික කටයුත්තක් වෙනුවෙන් භාවිතා කළ යුතු බව සමරකෝන් මුදලිවරයාගේ අවසන් කැමැත්ත වී තිබේ.

(ඡායාරූප ශාන්ත රත්නායක)