කාසල්රී ජලාශයට මිරිදිය මසුන් ලක්ෂ දෙකක් මුදාහැරේ


(රංජිත් රාජපක්ෂ)      
                
ජනාධිපති ලේකම් කාර්යාලයේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රී ජලාශයට ‘රෝ’ මත්ස්‍යය පැටවුන් 280,000ක් අද(29) මුදාහරින ලදී.
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රෝටීන් ඌනතාව අවම කිරීම, මිරිදිය මත්ස්‍යය අස්වැන්න සුලභ කිරීම සහ පරිභෝජනය ඉහළ දැමීම යන අරමුණු ඉටුකරගැනීම සඳහා මෙය ක්‍රියාත්මක කර ඇත.

මෙම ව්‍යපෘතිය සඳහා ජනාධිපති ලෙක්ම් කාර්යාලය මගින් නුවරඑළිය ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරි කාර්යාලයට මේ වසර තුළ රුපියල් මිලියන 16ත ප්‍රතිපාදන  ලබා දී ඇත.
 
ගත වූ මාස කිහිපය තුළ කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශවලටත්, වතු ආශ්‍රිත පොකුණුවලටත් ඉස්සන් සහ මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදාහැර තිබූ බවද, එහි මත්ස්‍ය අස්වැන්න මේවනවිට ලබාගෙන ඇති බවද, ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි නුවරඑළිය කාර්යලයේ ව්‍යපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේය.
 
ජලාශයේ ආරක්ෂිත දැල් කූඩුවලට ඇඹිලිපිටිය මුරුතවෙල රෝ මත්ස්‍යය පැටවුන් අභිජනන මධ්‍යස්ථානයේ මත්ස්‍ය පැටවුන් මෙසේ මුදාහරින ලදී. මත්ස්‍ය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර වැඩුණු පසු දැල් කූඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරීමට නියමිතය. මත්ස්‍යය පැටවුන්ට අවශ්‍යය මත්ස්‍යය ආහාර කාසල්රි ජලාශයේ ධීවරයන් දිනපතා ලබදෙනු ඇත.
 
කාසල්රි ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් 62දෙනෙකුගේ සුබ සාධන කටයුතුද මෙම ව්‍යාපෘතියෙන් වර්ධනය කෙරේ.