කැලේට දැමූ ගිලන් රියට පණ දුන්නාම සෞඛ්‍යයෙන් උස්සන් යයි


(තිලකරත්න දිසානායක)

භාවිතයෙන් ඉවත් කළ ගිලන් රථයක් රුපියල් ලක්ෂ 5කට අධික වියදම් දරා අලුත් වැඩියා කළ පසු නැවත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් රැගෙන ගිය පුවතක් ගම්පහින් මල්වතුහිරිපිටියෙන් වාර්තා වෙයි.

භාවිතයට ගත නොහැකි තත්ත්වයට අබලන්ව තිබූ මෙම ගිලන් රථය මල්වතුහිරිපිටිය රෝහල් භූමියේ දිගු කලක සිට අතහැර දමා තිබූණි.

මල්වතුහිරිපිටිය ස්වශක්ති තරුණ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ඉතා හොඳ මට්ටමට අලුත්වැඩියා කර කොරෝනා ආසාදිතයනට ප්‍රතිකාර කිරීමට සහ සැක සහිත තැන් පරික්ෂා කිරීම සඳහා මල්වතුහිරිපිටිය පොලිසියට බාරදුන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

පොලිසියේ ගාල්කර තිබූ එම ගිලන් රථය පසුගිය දිනක ගම්පහ සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් රැගෙන ගිය බවත් මෙවන් තත්වයක් තමන් බලාපොරොත්තු නොවූ බවත් එම සංවිධානය පවසයි.

මෙම ගිලන් රථය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාචික අවසරය මත අලුත්වැඩි කර ඇත.

මේ සම්බන්ධයෙන්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ගිලන් රථයක් වෙනත් ස්ථානයක භාවිතා කිරීම අවභාවිතයක් වන බැවින් රථය දෙපාර්තමේන්තුව යටතේ තිබීම වියයුතු බව කියා සිටියේය'