කැස්බෑවාටත් ශල්‍යකර්මයක්


(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී මාලු දැළකට හසු ව තුවාල වූ  කැස්බෑවෙකුට අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ශල්‍යකර්මයක් කර ප්‍රතිකාර ලබා දී තිබේ.

මඩකලපුව වෙරළ තීරයේදී හමුදා නිලධාරීන්ට හමුවී වනජීවී නිලධාරීන්ට භාර දී තිබූ මෙම කැස්බෑවාගේ ඉදිරි වරල් මා දැළට හසුවී කැඩී ගොස් තිබිණි.

පවත්නා අවම පහසුකම් යටතේ වුවද තම සෞඛ්‍ය ඒකකයේදී කැස්බෑවාට ප්‍රතිකාර කළ බව අම්පාර වනජීවී පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 

ඒ මහතා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

“සතෙකුට ශල්‍යකර්මයක් කරන්න මේ නිරාවරණය වූ ස්ථානය සුදුසු නැහැ. නමුත් මේ කැස්බෑවාගේ ජීවිතය බේරාගන්න කෙසේ හෝ  ශල්‍යකර්මය කළ යුතුව තිබුණා. ශල්‍යගාරයක අවශ්‍යතාවය අපි මීට පෙරත් දන්වලා තිබෙනවා. නමුත් මේතාක් කාලයක් එයට පිළිතුරක් ලැබුණේ නැහැ. මෙලෙසින් ශල්‍යකර්මයක් කිරීම සතාගේ ජීවිතයට හානිකරයි. තුවාලයට විෂබීජ ඇතුළු වී සතා මිය යන්න පවා පුළුවන්. තුවාල වූ මේ කැස්බෑවාගේ ඉදිරි අස්ථි දෙකම කැඩිලා. වරල් නොකපා කැස්බෑවා බේරා ගන්න අපි උත්සාහ කළා. ”

අම්පාර පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා කැස්බෑවාගේ අස්ථි නැවත යථා තත්ත්වයට ගැනීම සඳහා අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේදී එම ශල්‍යකර්මය කළේය. අඩවි ආරක්ෂක කිත්සිරි  මෙවන්, වන සත්ත්ව නියාමක රොහාන් ජිනදාස, කමල් රත්නසිරි, චතුරංග බණ්ඩාර යන නිලධාරීහු ඔහුට සහය වූහ.