කැළණි ගඟට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් ජනතාව පීඩාවට


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

නෝටන්බ්‍රීජ්, අළුඔය ප්‍රදේශයනේ කැළණි ගඟට සත්ව අපද්‍රව්‍ය  මුදා හැරීම හේතුවෙන් ගංඟාවේ ජලය පරිහරණය කරන තමන්ගේ සෞඛ්‍යට මෙන්ම පරිසර දූෂණයටද දැඩි තර්ජණයක් එල්ලවී ඇති  ප්‍රදේශවාසීහු කියති.

අළුඔය ප්‍රදේශයේ පවත්වාගෙන යන විශාල ශත්ව ගොවිපළකින් මෙසේ වරින්වර ශත්ව අපද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් කැළණි ගඟට  මුදා හැරීම නිසා ගංඟවේ ජලය දින කීපයක් කළු පැහැයෙන් ගලා බසින බවත්, එම දිනවල ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමා යන බවත් කියති.

 මෙම ශත්ව ගොවිපලෙන් වරින් වර ශත්ව අපද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධව තමන් සෞඛය අංශයේ වගකිවයුත්තන්ට කීප වරක් දන්වා ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට එම ජනතාව චෝදනා කර සිටිති.

අප මේ සම්බන්ධව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.එම්.පී.එන්.කිරිමාන්න මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ, මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන්  සොයා බලා කඩිනමින් පියවරක් ගන්නා බවත්ය.