(තුසිත කුමාර ද සිල්වා)
මිනිස් පරිභෝජනයට නුසුදුසු සම්බාසහල් කිලෝ ග්‍රෑම් 590 ක් බේරුවල සහ දර්ගා නගරයේ ගබඩා කර තිබෙන බවට බේරුවල පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන්ට ලද තොරතුරක් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බේරුවල පොලිසිය හා ඒකාබද්ධව කළ වැටලීමකින් එම ගබඩා දෙකම ඊයේ (4) රාත්‍රියේ සීල් තැබීමට පියවර ගත් බව පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු දර්ගානගරය පදිංචිකරුවකු බවත් මෙම සහල් තොග වලින් කිලෝග්‍රෑම් පන්සියයක් බේරුවල සුපිරි වෙළෙඳසැලට යාබද ටයිල් ගබඩා කිරීමට ගන්නා කඩ කාමරයක ගබඩා කර තිබුණු අතර ඉතිරි කිලෝ ග්‍රෑම් 90ක සහල් ප්‍රමාණය දර්ගා නගරයේ ප්‍රදේශයේ ගබඩා කර තිබූ බව වැටලීම කළ පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
සැකකරු ලබා දී තිබෙන ප්‍රකාශ අනුව මෙම සහල් තොගය විදෙස් රටකින් සහල් මෙරටට ආනයනය කරන පුද්ගලයෙකු සන්තකයේ තිබූ ගබඩාවක් ගංවතුරට හසු වී එම සහල් තොගය අලෙවියට සහ පරිභෝජනයට නොසුදුසු වී ඇති අතර එම සහල් තොගය මුල් හිමිකරු එම ගබඩා සංකීර්ණය රක්ෂණය කර තිබියදී ඊට අදාළ වන්දිය එම රක්ෂණ සමාගමෙන් ලබා ගෙන ඇති බැවින් එලෙස ගංවතුරෙන් විනාශවී තිබූ සහල් තොගය පසුව රක්ෂණ සමාගමට අයිතිය පැවරිදි තිබී ඇත.
පසුව එම රක්ෂණ සමාගම යටතේ ලියාපදිංචි අබලි ද්‍රව්‍යයන් ඉවත් කරන ආයතනයක් මඟින් දර්ගා නගරයේ ව්‍යාපාරිකයා සහල් තොගය රුපියල් ලක්ෂ 16 ක මුදලකට මිලදීගෙන තිබෙන බව පොලිසියට සහ සෞඛ්‍ය අංශ වෙත ප්‍රකාශ කර බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි වරයා පැවසීය.
මෙම ව්‍යාපාරිකයා සම්පූර්ණ සහල් තොගය ඉකුත් 28 වන බ්‍රහස්පතින්දා බේරුවල හා ධර්ගා නගරයේ ගබඩා ගතකර තිබෙන බවත් ඔහු එම සහල් තොග නැවත පිරිසිදු කර ප්රතිඅලවියට ගබඩා කර තබා ඇත.
මිලදීගෙන තිබූ සම්පූර්ණ සහල් තොගයේ තිබූ තවත් කිලෝ ග්‍රෑම් 2500ක් වූ ප්‍රමාණයක් යම් මට්ටමකට පිරිසිදු කර ඉකුත් සෙනසුරාදා දර්ගානගරය ප්‍රදේශයේ වෙළෙඳසල් තුනකට අලවි කර තිබෙන බවත් සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රකාශ කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
එලෙස එම සහල් අලෙවිකර තිබෙන දර්ගා නගරයේ වෙළඳසැල් අද (5) දින මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කරන බව පැවසීය.
එම සම්පූර්ණ සහල් තොගයේ සාම්පල් පරීක්ෂාවකට ලක්කර ඒවා විනාශ කිරීමට අධිකරණ නියෝගය ලබාගෙන රස පරීක්ෂක වාර්තා කැඳවා අනතුරුව සැකකරුට චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.
ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන තෙක් සහල් ගබඩාව ඊයේ (04) මුද්‍රා තැබීමට කටයුතු කල බව එම නිලධාරීන් පැවසීය.
බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය නිලධාරීන්ගේ සහයෝගයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන කසුන් පතිරණ, හියුබට් සිල්වා , පොලිස් කොස්තාපල්වරුන් වන විමර්ශන(69062)උදාර(90249) රණරණසිංහ(77838) නිපාශ් (2089) යන මහත්වරු සමග කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනය ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සිංහබාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් මෙම වැටලීම සිදු කර තිබේ.