(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ ග්‍රාම සේවා වසමේ ආරච්චිගෙවත්ත ගම්වාසීන් සෑම මසකම කිහිප වතාවක් සිය ගම්මානයට ඇති එකම පිවිසුම් මග ගංවතුරින් යටවීමෙන් දැඩි සේ පීඩා විදිති.
පවතින වැසි සහිත කාලගුණය නිසා නිල්වලා ගංගාවේ ප්‍රධාන අතුගංගාවක් වන දිගිලිය ගග පිටාර ගලා පහත් බිම් දින 05 තිස්සේ ගංවතුරින් යට වීම නිසා එහි බලපෑමට අක්කර 25ක පමණ වී වගා බිම් ගොදුරු වී ඇති බව ගොවිහු සංවිධාන පවසති.
එමෙන්ම නිල්වලා ගගේ සිටිනා දැවැන්ත කිඹුලන් ගංවතුර සැඩපහර නිසා මෙම ප්‍රදේශයට පැමිණ සැරිසැරීමට පටන් ගැනීම නිසා කිඹුල් බියෙන්ද ඇලලී ගොස් ජීවිත අවදානමක් හට ගෙන ඇතැයි ගම්වැසියෝ කියති.
අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර්යක් දුරින් කැටැන්විල දෙසට ඇති ගංවතුරින් සැමදා යට වී කොටුවෙන අහිංසක මිනිසුන්ගේ ගම්මානයට තවමත් කිසිදු හව්හරණක් නොලැබුණු බව ගම්වාසීහුු පවසති.
කෙසේවෙතත් අකුරැස්ස කැටැන්විල ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ඇතත් වර්ෂාව ඇදවැටීමත් සමග පාසල් අධ්‍යාපනයත් බොහෝ පිරිසකට රැකියා සදහා යෑමත් ගැටලුවක් වන බව ප්‍රදේශවාසීහු කියති.
ගංවතුරින් යට වීමෙන් ගම්වාසී පවුල් 20ක පුද්ගලයින් 300ක පමණ පිරිසක් මින් දැඩි සේ පීඩාවට පත්ව තිබෙන බවත් කියති. හැකි ඉක්මනින් ගම්මානයේ භාවිතාට අගුලක් වත් ලබා දීමට බළධාරීන්ගේ අවධානය යොමු කරවන්නැයි ගම්වාසීහු ඉල්ලති.
මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ආපධා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් කේ.ඒ.ආරියවංශ මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.
"දින ගණනාවක් ගංවතුරින් අකුරැස්ස යට වී ඇති බව දන්නේ නෑ. ගම්වාසීන්ගෙන් අගුලක අවශ්‍යතාව ගැන ඉල්ලීම් ආවත් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එහෙම ඉල්ලීමක් ඇවිත් නෑ. රතු කුරුසයෙන් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අගුල් 15ක අවශ්‍යතාව ගැන ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒවා ලැබුණොත් ප්‍රමුඛතාවන් අනුව ලබා දෙනවා. කෙසේවෙතත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එවැනි ඉල්ලීමක් ලැබෙන්නත් ඕන......" යැයිද කීය.