කුරුදුමලෙයි ධාතු නිදානෝත්සවයට බාධා


(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමට එරෙහිව දෙමළ දෙමළ ජාතික සංවිධානයේ  විරෝධතාවක් හේතුවෙන්  තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.

බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කළ චෛත්‍යයේ සධාතුක කරුඬු තැන්පත් කිරීම  ඊයේ දින පස්වරු 2 . 05 ට නියමිතව තිබුණි.

දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්  කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී පවසා සිටියේ  ‘කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාල ඉදිකිරීම් නවතා දමන ලෙසටය.

මේ පිළිබඳව අදහස් පලකර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක  ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ.

‘අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදුකල යුතු බවටත් එවැනි කටයුතු සිදුකිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදුනොවන ආකාරයටට කටයුතු කරන්න කියලයි.

ධාතු තුන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රෛනිකායික උත්තරීතර සංඝයා වහන්සේ  මෙම ප්‍රදේශයට වැඩම කළා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. එහිදී පුරාවිදයා අධ්‍යක්ෂක ජනරාල්වරයා මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට එකඟවී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ.