කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම අපරාධයක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.
රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත.
ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
රෝමන් ඔස්ට්‍රියාකොව් ඉතාලියේ වෙසෙන නිවසක් අහිමි යුක්රේන පසුබිමක් ඇති පුද්ලයෙකි. හෙතෙම යූරෝ 4.07 (ඇමෙරිකානු ඩොලර් 4.50 – ශ්‍රී ලංකා රුපියල් 840 කට ආසන්න මුදලක්) වටිනාකමකින් යුතු චීස් සහ සොසේජස් සොරකම් කර ඇත.
‘‘කඩිනම් සහ අත්‍යවශ්‍ය පෝෂණය වෙනුවෙන් ආහාර ස්වල්පයක් සොරකම් කිරීම වරදක් නොවේ’’ අදාළ තීන්දුව දෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
‘‘එය අපරාධයක් නොවේ’’ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
රෝමන් ඔස්ට්‍රියාකොව් 2011 වසරේදී ඉතාලියේ ජෙනෝවා නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකින් චීස් කෑලි දෙකක් සහ සොසේජස් පැකට්ටුවක් සිය සාක්කාවුට ඔබාගෙන ඇත. එය දුටු එහි පැමිණි තවත් පාරිභෝගිකයකු ඒ බව වෙළෙඳසැලේ ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් මුදල් ගෙවා ඇත්තේ වියළි කුඩා පාන් කැබලිවලට පමණි.
ඊට වරදකරු කළ රෝමන් ඔස්ට්‍රියාකොව්ට 2015 වසරේදී මාස හයක සහ යූරෝ 100ක දඩයක් නියම විණි.
රෝමන් ඔස්ට්‍රියාකොව් වරදකරු කරමින් දුන් තීන්දුව එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු වරදකරුවකු නොවන බව තීන්දු කළේය.
බී.බී.සී.
ඡායාරූප – ඒ.එෆ්.පී.
055