කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි


( රෙමේෂ් මධුෂංක)

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පැවසීය.

කේරළ ගංජා කිලෝ 304 ග්‍රෑම් 600 ක ප්‍රමාණයක් මෙහි තිබී ඇති අතර ඒවායේ  වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව නාවික හමුදාව කියයි.

කිලිනොච්චිය උඩුතුරෙයි සහ මරදන්කේනි අතර මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අයත් නාවික නිලධාරීන් පිරිසක් සහ  කිලිනෙච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව  සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බොට්ටුවක් නිරීක්ෂණය වී ඇත.

පසුව අදාල බෝට්ටුව ලුහුබැඳ ගොස් පරික්ෂා කිරීමේදී බොට්ටුව තුළ සඟවා තිබූ මෙම කේරල ගංජා තොගය සොයාගත් අතර පසුව ඩිංගි යාත්‍රාවද සමගින් එහි සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කිලිනොච්චිය මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.