කොටුව දුම්රිය පොළ අසල විරෝධතාවයක්


තවත් විධායක ජනාධිපතියෙක්එපා යන තේමාව යටතේ විරෝධතා වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද (8) පැවැත්විණි.

අලුත් පියාපත් සංවිධානය එය සංවිධානය කර තිබිණි.

මෙම වසර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන වසර බවට පත් කිරීම මෙම විරෝධතා වැඩසටහනේ අරමුණ යැයි එහි සංවිධායකයෝ කීහ. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සනිටුවහන් කරමින් අවමංගල්‍යක ස්වරූපය විදහා දැක්වෙන පරිදි මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.  

ශෝකය ප්‍රකාශ කරන අයුරු දැක්වෙන බැනරයක් ද එහි තිබූ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහාය දක්වමින් බොහෝ පිරිසක් ඊට අත්සන් තැබූහ. 

විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කර වසර 41ක් ගෙවී ගොස් තිබුණත් රටට පිළිලයක් වී තිබෙන අහෝසි කිරීමට නොහැකි වී ඇති බව විරෝධතා වැඩසටහනේ සංවිධායකයෝ කීහ.

තවත් ජනාධිපතිවරයකුගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නැයි නොඉල්ලන බවත් මේ වසර විධායක ජනාධිපති ධුරයේ මළගම සනිටුවහන් කරන වසර බවට පත් කරන බවත් ඔවුහු කීහ.

ඒ වෙනුවෙන් මෙම විරෝධතා වැඩසටහනට සමගාමීව රට පුරා විරෝධතා පැවැත්වෙන බව කී ඔවුහු ඉදිරියේදී රට පුරා විරෝධතා වැඩසටහන් පවත්වන බව ද සඳහන් කළහ. 

ඡායාරූප - ළහිරු හර්ෂණ