කොරෝනා මැද උපන් සිවු නිවුන්නු පළමු වසර සමරති


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතය මධ්‍යයේ ඉකුත් වසරේ මීරිගම තරුණ යුවළකට  දාව කොළඹ ද සොයිසා රෝහලේදී මෙලොව එළිය දුටු සිවු නිවුන් දරුවෝ ඉකුත් දා සිය ජීවන ගමනේ පළමුවන ජන්ම දිනය සැමරූහ. 

මීරිගම ලින්දර ආර්.එම්.පී. තිළිණි සුබසිංහ (28)   හා මීරිගම කැප්පිටිවලානේ තරිදු කසුන් ලක්රුවන් (29) යන දෙමාපිය යුවලට දාව උපන් යෙතුල මෙත්මුතු, මෙතුල ලක්මුතු, යෙනුල්යා දම්සුවි, තෙනුල්යා දම්සකි යන පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා පසුගිය 22 වැනිදා සිය පළමු ජන්ම දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ කැප්පිටිවලාන නිවසේදී සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.  

මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කර පිරිත් නූල් බැඳ එම සිවු නිවුන් දරුවන්ට ආශීර්වාද කළහ.

දරුවන්ගේ මව ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන අතර පියා පෞද්ගලික ආයතනයක තාවකාලික රැකියාවක නිරතව සිටි. 

ඔවුන් විවාහ වී දෙවසරකින් මෙම දරු සුරතල් බලන වරම් ලැබීය. 

ඉකුත් වසරේ  ජූලි මස 22 වැනි දා  කොළඹ ද සොයිසා රෝහලේ දී තිළිණි පුතුන් දෙදෙනෙකු  හා දියණියන් දෙදෙනෙකු මෙලොවට බිහි කළේ  පුරා මාසයක් තිස්සේ රෝහල්  ගතව සිටීමෙන් අනතුරු වය.  

 

දරුවන් ලැබීමෙන් පසුව ද වෛද්‍ය උපදෙස් මත දරුවන්ගේ මූලික ප්‍රතිකාර සඳහා තවත් මාසයක් ඇයට රෝහලේ ගත කරන්නට සිදුවිය.

 මේ වන විට දරුවන් සිවු දෙනකු බලා ගැනීමේ භාරදූර කටයුත්තකට ද ඇය සහ සැමියා මුහුණ දී සිටී. කුමන  දුක් කරදර ඇතත්  දරුවන් අඩුපාඩුවකින් තොරව ලොකු මහත් කිරීමට තමා සහ සැමියා දෙමවුපියන්ගේ සහය ඇතිව කැපවී සිටින බව ඇය කීවාය.  

 තමන්ගේ සැමියාට රජයේ ස්ථිර රැකියාවක අවස්ථාවක් ලැබෙන්නේ නම් ඒ තම දරුවන් වෙනුවෙන් කරනා මහඟු උපකාරයක් වනු ඇති බව  ඇය සඳහන් කරයි.