කෝට්ටේ ජනාධිපති විදුහලේ පිහිනුම් තටාකය සිසු අයිතියට


කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුකෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ අංග සම්පුර්ණ පිහිනුම් තටාකය වන මෙය මංතීරු අටකින් සමන්විත මීටර 50ක දිගින් හා මීටර 25ක පළලින් යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන මගින් මෙම පිහිනුම් තටාකය ඉදි කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති යු.ඩී.ජී ආරියරත්න යන මහත්වරු සුභ මොහතින් පීත්ත පටිය කපා පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කළ අතර පාසලේ පිහිනුම් කණ්ඩායම ජල ක්‍රීඩා සරඹ සංදර්ශනයක් ද මෙහිදී පවත්වන ලදී.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )