කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර රැස්වීමට සූදානම් වී නැවත පැමිණෙන ලෙස දැනුම්දී රැස්වීමේ කටයුතු අතරමග නතර කිරීමට කමිටුවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කටයුතු කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020 2021 2022 හා 2023 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානිහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගිය 10 වැනිදා කැඳවනු ලැබ සිටියහ.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය රැස්වීම්වලදී දුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම මෙහිදී විමසා තිබිණ.

රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳව කළ පරීක්ෂණ හා එම සිද්ධියට වග හේතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවට වාර්තාවක් දිය යුතුව තිබූ බවත් එම වාර්තාව ලබාදී නොමැති බවත් විගණකාධිපතිවරයාමෙහිදී පෙන්වා දුන්නේය.

වාර්තාවක් ලබා දී ඇති බව මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දැනුම් දුන්හ.

එවැනි වාර්තාවක් තමාට ලැබී නැති බව විගණකාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී එසේ ලබා දුන්නේ යැයි පැවසුණු වාර්තාවේ පිටපතක් සභා ගත කෙරුණු අතර එම පිටපත සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බව විගණකාධිපතිවරයා එහිදී යළිත් පැවසීය.