ගංවතුර පාලනය කරන්න 30 වසරකට පසු තුම්මෝදර ලුණු බැම්ම විවෘත කරයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හැමිල්ටන් හරහා ඉදිකර තිබූ ලුණු බැම්ම ගංවතුර පාලන කිරිමට අද (11) දහවල් විවෘත කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ.අලහකොන් මහතා පවසයි.

මෙම ලුණු බැම්ම ඉහළට ලුණු ජලය ගලා ඒම වැළැක්වීම සඳහා හැමිල්ටන් ඇළ හරහා වසර 50 කට පෙර ඉදිකරන්නට ඇති බව කියයි.

ලුණු බැම්මට යොදා ඇති දොරවල් වසර 30 කට ආසන්න කාලයක් විවෘත නොකිරිමෙන් වැසි සමයන් වලදී නාත්තන්ඩිය නගරය හා තුම්මෝදර ඇතුළු ඉහළ ප්‍රදේශ කීපයක් ගංවතුරින් යටවී ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වන බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

කෙසේ නමුත් පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පළාත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මෙහෙය වීමෙන් කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම් ඒකකය හා පුත්තලම 143 වන බල සේනාවේ යුද හමුදා සාමාජිකයින් දැවැන්ත මෙහෙයක් යොදවා දොරටු විවෘත කිරිම සිදුවුයේ ප්‍රදේශ වාසීන්ගේ ද සහාය එක්කර ගනිමිනි.

මෙම හැමිල්ටන් ඇළ ඕලන්ද ජාතිකයින් අත්පත් කරගෙන සිටි සමයේ දී වෙළඳ භාණ්ඩ රැගෙන ඒම සඳහා භාවිතා කළ බව කියයි . ඕලන්ද ජාතිකයින් මෙම  ඇළ ඉදිකිරිම නිසා  එයට ඕලන්ද ඇළ ලෙස නම් කර ඇති බව කියයි.

ඉන්පසුව එය හැමිල්ටන් ඇළ ලෙස භාවිතා කර ඇති බව පැවසෙයි. කෙසේ නමුත් පසුව මෙම හැමිල්ටන් ඇළ නිසි ප්‍රතිසංස්කරණයක් නොමැති වීමත් භාවිතා නොවීමත් සමඟ ගොඩවීමක් සේම  ජලජ ශාක වලින් අද වැසි විනාශ වී ඇති බව ජනතාව පවසයි .