ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්


(සුජිත් හේවාජුලිගේ)

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල්  අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

බදුල්ල අම්පාර සහ මොනරාගල  යන  දිසාවන්හි ගල් කොරි හිමියන් මෙසේ ගෙවීම් පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

බදුල්ලේ ගල් කොරි හිමියන් රුපියල් ලක්ෂ පනස් එකකට වැඩි මුදලක්ද අම්පාර ගල් කොරි හිමියන් තුන්කෝටි හතළිස් එක ලක්ෂයකට වැඩි මුදලක්ද  මොනරාගල ගල් කොරි හිමියන් හැත්තෑ හය   ලක්ෂයකට වැඩි මුදලක්ද  මෙසේ ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසයි

මේ අතර නුවරඑළිය දිසාවන කාර්යාල බලප්‍රදේශයේ ඉදිකර ඇති දුරකතන සම්ප්‍රේෂණ කුළුණු හයක බලපත්‍ර අලුත් නොකිරීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව වාර්තාවේ දැක්වේ

දෙපාර්තමේන්තුවේ  ගිනි  පාලන වැඩසටහන් හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් හා   විධිමත්  නොවීම හේතුවෙන් ,   ගිනි තැබීම්  නිසා වාර්ෂිකව විශාල භූමි ප්‍රමාණයක් හානියට පත්වන බව නිරීක්ෂණයවී යැයි විගණන අංශ පවසයි.

දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල පුරප්පාඩු  617 ක්  පවතින බවද වාර්තාව සඳහන් කරයි.

වලස්මුල්ල  පැළ  තවාන්වල සේවය සඳහා කම්කරුවන් 1059ක්  යොදවා ගෙන ලක්ෂ 18කට වැඩි වැටුප්  ගෙවා ඇති බවත් ඉන් දෙසීය දෙනෙකුගේ නම් ජාතික හැඳුනුම්පත් අංක ඡන්ද හිමි ලේඛනය සමග නිවැරදි  නොවන බවට  නිරීක්ෂණය වූයෙන් එම කම්කරුවන් සත්‍ය වශයෙන් ඒ කටයුතුවලට යොදාගත්තේදැයි සනාථ නොවන  බවත්   විගණන නිලධාරීහු  පෙන්වා දෙති

මේ තොරතුරු සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත්  කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.