ගාසා තීරයේ උතුරු කොටසේ මෙහෙයුම් ඇරැඹේ


ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ.

පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසින් පලා යමින් සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ මොටර් රථවලට පවා ඊශ්‍රායල හමුදා පහර දී ඇති බවය.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් සිදු කරන්නේ හමාස් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ඊශ්‍රායල වැසියන් සොයමින්ය.

ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ද සිටින බව පැවැසෙයි.

ප්‍රාණ ඇපකරුවන් සොයමින් යන අතරතුරේ ගාසා තීරයේ උතුරු කොටස මුළුමනින්ම හමාස් සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)