(නිමල කොඩිතුවක්කු)
වර්ෂයක පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3000ක් වුවත් පසුගිය 2024 වර්ෂයේ දී එය මිලියන 300කින් පමණ අඩු වීම පොල් මිළ ඉහළ යාමට හේතු වූ බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කොළඹදී පැවසීය.
සතුන්ගෙන් සිදුවන හානි, රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම මෙන්ම පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණ ගැටලු පසුගිය වසරවලට සාපේක්ෂව 2024 වර්ෂයේ දී පොල් ඵලදාව කැපී පෙනෙන ලෙස අඩු වීමට හේතු වූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
පොල් මිල ඉහළ යාම, පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කීවේය.
තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු පොල් ඵලදාව අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත් එම ගැටළු හඳුන ගනිමින් ඒවාට කඩිනම් විසදුම් දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
පොල් ගසට අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම, ගසට අවශ්‍ය ජලය ලබා දීම, ගස රැකබලා ගැනීම ඇතුලු කාරණා නිසි ලෙස ඉටු නොවීම පසුගිය වර්ෂයේ දී අස්වැන්න අඩුවීමට බලපෑ බවද සභාපතිවරයා පැවසීය.
රටේ පවතින කාලගුණික හා දේශගුණික බලපෑම පොල් වගාව සඳහා සෘජුවම බලපෑ බවත් පසුගිය වර්ෂයේ පැවති අධික උෂ්ණත්වය හා අධික වර්ෂාව පොල් අස්වැන්න අඩු වීමට හේතු වූ බවද ඔහු සඳහන් කළේය.
සතුන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පොල් වගවට බලපාන බවත් පසුගිය වර්ෂයේදී රිලවුන්, දඬුලේනන්ගෙන් සහ කෘමි උවදුරු හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් සභාපතිවරයා කීවේය.
මෙම වසරේදී ඒම උවදුරු වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
පොල් ඵලදාව ඉහළ දැමීමේ අරමුණින් මෙම වසර තුළ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇතැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසීය.