ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්


(ගයාන් සූරිය ආරච්චි)

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

හෙට (07) දින 14 ක් ඇතුළත එම පැමිණිලි විභාග කර අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව තල්දුව මහතා කීය.

ඉකුත් මැතිවරණ කාල සීමාව තුළ 65,000 කට අධික පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබුණි. එම කාල සීමාව තුළ දිවයිනේ පොලිස් ස්ථානවල  විවිධ පැමිණිලිවල ගොඩගැසීමක් දක්නට ඇති බව  වැඩ බලන පොලිස්පති වරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව තල්දුව මහතා වැඩිදුරටත් පැවසීය.