ගොවිතැන් වැනසුණු ලුණුගම්වෙහෙර ගොවීන්ගේ අඳෝනාව - වීඩියෝ


(අමිල සම්පත් ශ්‍රී)

ප්‍රමාණවත් පොහොර කෘෂිරසායන හා වගා පාඩුවට වන්දි දෙන ප්‍රමාණය නිශ්චිත වශයෙන් සඳහන් කරන තුරු මහ කන්නයේ වීවගාවෙන් ඉවත් වීමට ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේ ගොවීහු  කන්න රැස්වීමේදී තීරණය කළහ.

නොවැම්බර් මස පළමු වැනි දිනට පෙර මෙම ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නේ නම් පමණක් වී වගාවට යාහැකි බවට මෙහිදී ගොවි නායකයින් පවසන ලදී.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් අයි එල් වික්‍රමනායක කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් වීරවිල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවති කන රැස්වීමේදී කාබනික පොහොර සහ ජෛව ක්‍රමවලට පමණක් වල් මර්ධනය කරමින් මෙවර වී වගාව සිදු කර යුතු බවට කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවිය

පසුගිය කන්නේ පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිසි පරිදි වී වගාවට යෙදීමට නොලැබීම හේතුවෙන් එම කන්නේ අස්වැන්න සියයට 50 කින් පමණ අඩු වී ඇති බවත් ඒ පිළිබඳව තක්සේරු කිරීමට හෝ කිසිදු නිලධාරියෙක් ක්ෂේත්‍රයට නොපැමිණි බවත් චෝදනා කළහ.

පාඩුවට වන්දි මුදල් ලබා දෙන බවට රජය වගකිව යුත්තන්  මාධ්‍ය ඉදිරිපිට පුරසාරම් දෙඩුවට අද වෙනතුරුත් කිසිදු වන්දි මුදලක් ලබා නොදීම හේතුවෙන් මහා කන්නයේ පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බව ගොවි සංවිධානයේ සභාපති සාමිත චතුරංග පැවැසීය .

පසුගිය කන්නයේ වී වගාව ආරම්භයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා වගා හානිවලට සහ අඩුවන අස්වැන්න පිලිබද යම් මුදලක් ගෙවන බව මාධ්‍ය ඔස්සේ සඳහන් කළ ද ඒ පිළිබඳ විශ්වාසය තබා අපි එම කන්නේ වී වගාවට යොමු නමුත් පහුගිය කන්නේ වගා හානිය සහ අස්වැන්න අඩු වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වන්දි මුදලක් ලබාදීමට කටයුතු නොකළ බැවින් කෘෂිකර්ම අමාත්‍යවරයා උසාවියට ගෙන ඒමට කටයුතු කරන බව දකුණු ඉවුරේ ගොවි සමිති නායකයෙක් මෙහිදී සඳහන් කළා .