චීන තානාපති මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී


 

(චමිල් රූපසිංහ)

එකම තීරයක් එකම මාවතක් යන සංකල්පය ඔස්සේ  ගොඩ නැගෙන චීනයේ සේද මාවත සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ තුළ ගැලපීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් එක්සිව්යුවෑන් මහතා මල්වතු සහ අස්ගිරි පර්ශ්වයේ මහනායක හිමිවරුන් දෙනම හමුවේ පැවසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ සඳහා චීනය නිරන්තරව සහයෝගය ලබාදෙන බවත් මෙම පසුබිම තුළ දෙරටට අන්‍යන්‍යය වශයෙන් සහයෝගිතාවක් ඇතිව කටයුතු කළ හැකිව තිබෙන අතර මෙරට දේශපාලන ප්‍රශ්න වලට අත පෙවීමට චීනය කිසි විටෙකත් අපේක්ෂා නොකරන බවත් චීන තානාපතිවරයා පැවැසීය.

ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනා හිමියන්ද අස්ගිරි මහ විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක  වරකාගොඩ ඤාණරතන මහා නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුද විසඳිය හැක්කේ ජනතාවට පමණක් බවත් ඔවුන් හොඳින් හිතා මතා නිවැරදි තීරණ ගන්නේ නම් ගැටළු බොහොමයකට විසඳුම් ලැබනු ඇති බවත් ඕනෑම රටක ඉරණම තීරණය වන්නේ ඒ රටේ ජනතාව ගනු ලබන තීන්දු තීරණ මත බවත්  මහනාහිමිවරු දෙනම හමුවේ අදහස් දක්වමින් චීන තානාපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව හා චීනය අතර තානාපති සම්බන්ධතා ඇතිවී අදට වසර 62 ක් සපිරෙන බවත් එම කාලයටත් එහා ගිය ආගමික සම්බන්ධතාවක් දෙරට අතර පවතින බවත් මෙම සම්බන්ධතා ආරක්ෂා කර ගැනීම පිණිස දෙරටම හොඳ අවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.