චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉන්දීය වෙළඳ සම්මේලනයක් ඉල්ලයි


චීන නිෂ්පාදන වර්ජනය කරන්නැයි ඉල්ලමින් ඉන්දියාවේ ප්‍රධානතම වෙළෙඳ සම්මේලනයක් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
ඇතැම් පිරිස් මෙම සම්මේලනය හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ වෙළෙඳ සහ ආර්ථික අංශය යනුවෙන් ද හඳුන්වාදෙති. 
 
චීනය පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ කණ්ඩායමේ නායක මසූද් අෂාර් අසාදු ලේඛන ගතකරන්නැයි (බ්ලැක් ලිස්ට්) ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කිරීමට චීනය පියවර ගත්තේය. 
 
භාරතීය ජනතා පක්ෂය සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සමීප සබඳතා පවත්වන “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය එම ඉල්ලීම කර තිබේ. එම සංවිධානය ඉන්දීය වෙළෙඳන්ගෙන් මිලයන 70කට වැඩි පිරිසක් නියෝජනය කරයි. 
 
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නිර්මාතෘ වන මසූද් අෂාර්ට එරෙහිව සම්බාධක පැනවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට දිගින් දිගටම බල කරන බව ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය. 
 
චීනය තාක්ෂණික කරුණක් මුල් කරගනිමින් මසූද් අෂාර් අසාදු ලේඛන ගත කිරීමට ඉල්ලමින් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද කළ අතර ඒ හේතුවෙන් තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි චීනයේ ක්‍රියාව සම්බන්ධයෙන් බෙහෙවින් කෝපයට පත් බොහෝ ඉන්දියානුවෝ ප්‍රකාශ කළහ. 
 
මසූද් අෂාර්ට එරෙහිව මීට පෙර අවස්ථා හතරකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වූ අතර චීනය සෑම අවස්ථාවකදීම එම යෝජනා අවහිර කළේය. චීනය යනු ඉන්දියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සහකරුවාය. 
 
චීනයට පාඩමක් ඉගැන්වීමට මාර්තු 19 වැනිදා චීන භාණ්ඩ සියල්ල ගිනි තබා විනාශ කරන බව “ද කන්ෆෙඩරේෂන් ඔෆ් ඕල් ඉන්දියා ට්‍රේඩර්ස්’ සම්මේලනය සඳහන් කළේය.
 
චීනය පාකිස්තානය සමඟ සමීප සබඳතා පවත්වන්නේ යැයි ද එම නිසා චීනය පාඩමක් ඉගෙන ගත යුතු කාල පැමිණ ඇති බවද එම සම්මේලනය සඳහන් කළේය. 
 
(රොයිටර් ඇසුරිනි)
 
055