අඟහරු ග්‍රහයා වෙත යැවෙන රොකට්ටුවක් චීනය අද (23) සාරථකව ගුවන් ගත කළේය.
මෙම රොකට්ටුව චීනයේ හයිනෑන් දූපතේ වෙන්චැන් අභ්‍යවකාශ ගුවන්තොටුපලින් එරට වේලාවෙන් දහවල් 12.40ට ගමන් ආරම්භ කර තිබේ.
රොකට්ටුව 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා වටා කක්ෂගත වීමට නියමිතය.
ටියෑන්වෙන් - 1 ලෙස නම් කර ඇති රෝවරය රොකට්ටුව මගින් ගෙන යනු ලබන අතර රොකට්ටුව කක්ෂගතවී මාස තුනකින් පසු රෝවරය අඟහරු මතුපිටට පතිත කිරීමට සැලසුම් කර ඇත.
අඟහරු ග්‍රහයාගේ වායුගෝලීය තත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහා මෙම කාලය යොදාගන්නා බව විද්‍යාඥයෝ පවසති.
අඟහරුගේ සමකයට උතුරින් තැනිතලාවකට රෝවරය පතිත කරවන අතර එමගින් පෘෂ්ඨයේ භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.
චීනය විසින් මෙලෙස ගුවන්ගත කරන ලද්දේ දින 11ක් තුළ පෘථිවියෙන් අඟහරු බලා පිටත් වන යානා තුනෙන් එකකි.
සඳුදා (20) එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත සිය ප්‍රථම යානය ගුවන්ගත කළ අතර ඉදිරි සතියේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ද යානයක් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)